Showing posts with label කෘෂි තාක්ෂනය. Show all posts
Showing posts with label කෘෂි තාක්ෂනය. Show all posts

Saturday, September 8, 2012

ස්වාල්බාඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය : SGSV

             "The Agronomist" කියල කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාකාර තොරතුරු, පින්තූර, ප්‍රවෘත්ති ඇතුලත් ෆේස්බුක් පිටුවක්  හැදුවා. එකේ නිර්මාණ කටයුතු කිරීම නිසාම පහුගිය ටිකේ බ්ලොග් එකට ලිපියක් ලියන්න බැරිවුණා. ලිපියක් ලිවීමට මාතෘකාවක් හොයද්දී අහම්බෙන් හමුවුන දෙයක් ගැනයි මේ සටහන....
             2012 කියන්නේ තරමක් ආන්දෝලනාත්මක වර්ෂයක්. ඇතැම් මතවලට අනුව ලෝක විනාශය මෙම වසරේ සිදුවන බව සඳහන්. බොහෝ වියතුන් දක්වන ආකාරයට තෙවන ලෝක විනාශය න්‍යෂ්ටික බෝම්බ වලින් සිදුවන අතර ග්‍රහක ගැටුමක් හෝ උල්කාපාත ගැටුමකින්ද මීට නොදෙවැනි වූ ලෝක විනාශයක් සිදුවිය හැක. මෙවැනි ලෝක විනාශයක් සිදුවුවහොත් ඉන් සිදුවන විනාශය සුළුපටු නොවනු ඇත. ලොව ජීවත් වන ඉතාකුඩා ජීවියාගේ සිට අතිවිශාල ජීවීන් දක්වා සිටින සියලුම විශේෂවල ජීවීන් පාහේ මිහිමතින් සදහටම තුරන්වනු නියතය. ඒ සමගම ඔවුන් සතුවූ සුවිශේෂී ජාන සැකැස්මද අතුරුදන්වනු ඇත.
               කෙසේවුවද ඉහත සඳහන් ඕනෑම ආකාරයක විනාශයකදී වුනත් ආරක්ෂාකාරීව සිටීමට සමත් ගොඩනැගිලි සහ කැප්සියුල මේවනවිට ඇතැම් රටවල සාර්ථකව නිපදවා තිබෙනවා. අති විශාල ලෝක විනාශයකට පසුව නැවතත් ජනාවාස මුල සිට ආරම්භකළ යුතු අතර එම ජනයාට අවැසි ආහාර නිපදවිය යුතුය. එසේම එම අහාර නිපදවීමට අවශ්‍ය කරන භෝගයන්හි බීජ වර්ගද මෙසේ සුරක්ෂිතව ගබඩාකර තබාගතයුතුය.ඒ සඳහා මෙකී විනාශකාරී තත්වවලට සාර්ථකව මුහුණදිය හැකි බීජ සුරක්ෂිතාගාර  කිහිපයක් ලොව පිහි‍ටුවා ඇති අතර මෙම ලිපියෙන් ඉන් ප්‍රධානතම බීජ සුරක්ෂිතාගාරය වන "ස්වාල්බාඩ් බීජ සුරක්ෂිතාගාරය" (Svalbard Global Seed Vault) පිළිබඳව විස්තර කෙරේ.

නොර්වේ රාජ්‍යයට අයත් හිම වලසුන්ගෙන් ගහන ස්වාල්බාඩ් අර්ධද්වීපයේ මෙම " බීජ සුරක්ෂිතාගාරය" පිහිටා ඇත. 2006 ජුනි මස ඇ.ඩො. මිලියන 9 ක වියදමකින් ආරම්භකල මෙය 2008 වසරේ පෙබරවාරි 26 වන දින නිල වශයෙන් විවෘත කෙරින. සදාකාලිකව හිමෙන් වැසී පවතින පෙදෙසක හුණු සහ වැලි ගලින් යුත් කන්දක් තුල හාරන ලද භූගත උමගක් මේ සඳහා යොදාගැණින. 

මෙය ඉදිකිරීම සඳහා ස්වාල්බාඩ් ප්‍රදේශයම තෝරාගැනීමට විශේෂ හේතු කීපයකි.
1) මුහුදුමට්ටමින්130m උසින් පිහිටීම (මෙනිසා මුහුදු ජලමට්ටම් ඉහල යාමකින් සිදුවිය හැකි ආපදා වැළකේ), 
2) සදාකාලිකව හිමෙන් වැසී තිබීම (බීජ දිගුකලක් ගබඩා කිරීමට සුදුසු උෂ්ණත්වයේ පැවතීම) , 
3) මීටර් 120 ක් ඉහලින් වැලි තට්ටුවක් තිබීම ( විකිරණ වලින් සිදුවිය හැකි හානි අවම වීම), මෙවැනි සාධක කීපයකි. 

මෙම බීජ සුරක්ෂිතාගාරය දිගින් 145.9m කි. බීජ සාම්පල් තැන්පත් කිරීම සඳහා කුටි තුනකි. එක කුටියක දිග 27m, පළල 10m සහ උස 6m වේ. යම් වර්ගයකට අයත් බීජ 500 කින් යුතු සාම්පල් වශයෙන් මෙහි තැන්පත් කරනු ලබයි. එවැනි එකිනෙක වෙනස් බීජ සාම්පල් මිලියන 4.5 ක් සුරක්ෂිතව ගබඩා කිරීමේ ඉඩකඩ මෙහි පවතී. (එනම් බීජ  බිලියන 2.25 ක් පමණ) මේ අනුව ලොව විශාලතම බීජ සාම්පල් ගබඩාව මෙය වනු ඇත. 

1400 ක් පමණ වන ලොව සමස්ත ජාන බැංකු වලින් මේ සඳහා අවශ්‍යය බීජ ලබාගනී. චීනය, රුසියාව, ජපානය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි  බීජ බැංකු ඇත. FAO දත්ත අනුව ලොව පුරා ජාන බැංකු සහ බීජ බැංකු 1400 ක් පමණ තිබුනද ඉන් පිළිගත් ප්‍රමිතියේ පවතිනුයේ 30-40 අතර ගණනකි. ස්වාල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ විවිධ සහල් ප්‍රභේද 100,000 ක් පමණ ගබඩාකර පවතී. මෙම බීජ ගබඩාකිරීම සඳහා සෙල්සියස් සෘණ 18 ( -180C) උෂ්ණත්වය සහ O2 සාන්ද්‍රනය අඩු වාතය යොදාගනී. මේ සඳහා වායු රෝධක ඇසුරුම් යොදාගනී. මෙමගින් බීජවල පරිවෘතිය ක්‍රියා සීඝ්‍රතාවය අඩුවී වැඩි කලක් සුප්තතාවයේ පවතී. මෙම තත්ත්ව වලදී මෑ, බෝංචි වැනි බීජ වල  ආයුකාලය බොහෝ විට වසර 20 - 30 කට පමණ සීමාවේ. නමුත් ඇතැම් සූරියකාන්ත බීජ වර්ග දශක ගණනාවක් හෝ ශතවර්ෂ කිහිපයක් වුවද සජීවීව පැවතිය හැක. කෙටි ආයුකාල පවතින බීජ පැලකර ඒවායින් බීජ ලබාගෙන නැවත අධිශීත තත්ව යටතේ ගබඩා කරයි.

මෙහි කළමනාකාරීත්වය සහ මෙහෙයුම් සිදුකරන්නේ Nordic Genetic Resource ආයතනය මගිනි .  විද්‍යාත්මක මගපෙන්වීම සහ බීජ සාම්පල නැව්ගතකිරීමට අවශ්‍ය සහය Centre  The Global Crop Diversity Trust ආයතනය මගින් ලබාදේ. බීජ සුරක්ෂිතාගාරයේ සමස්ත ආරක්ෂාව පවතිනුයේ ස්වාල්බාඩ් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා අතය.

Tuesday, August 7, 2012

සීනි නිෂ්පාදනය සඳහා වගාකරන බීට් : sugar beet

සීනි අපිට නැතිවම බැරි ආහාර ද්‍රව්‍යයක්. උක් දඬු මිරිකා ලැබෙන යුෂ පිරිසිදු කර ස්ඵටික බවට පත්කිරීමෙන් සීනි කැට ලබාගන්නවා. ඒත් මේ විදියට සීනි ලබාගන්න පුළුවන් උක් ගස් වලින් විතරද?

සීනි නිෂ්පාදනය සඳහාම වගාකරන බීට් 

සීනි නිෂ්පාදනය සඳහාම වගාකරන බීට් හෙවත් (sugar beet) ගැන ඔබ අනිවාර්යෙන්ම අසා ඇතිවාට සැකයක් නෑ.  Beta vulgaris  යන විශේෂයටම අයත් වන මෙය වාණිජ වශයෙන් සීනි නිෂ්පාදනය සඳහා යොදාගනී. ලොව සමස්ත සීනි නිෂ්පාදන ධාරිතාවයෙන් 1/5 ක් නැතහොත් 20% ක් සැපයෙන්නේ මෙම sugar beet වලිනි. සුදු පැහැති මාංශලමය  ආකන්දයක් (tuber) වන sugar beet අලයක බරින් 75% ක් පමණ ජලය අන්තර්ගත වන අතර 15% - 21% ත් අතර ප්‍රමාණයක් සුක්‍රෝස් අඩංගුවේ. sugar beet වගාකිරීම සඳහා වඩාත්ම සුදුසු දේශගුණික තත්ත්ව පවතිනුයේ සෞම්‍ය කලාපීය රටවලය. 


2009 දී ලොව ප්‍රධානතම sugar beet නිෂ්පාදක රටවල් ( මෙට්‍රික් ටොන් මිලියන)


මේ වනවිට ලොව විශාලතම sugar beet නිෂ්පාදක රට වන්නේ ප්‍රංශයයි. ඉතිහාසගත වාර්තා අනුව 16 වන සියවසේදී Olivier de Serres විසින් පළමුවරට sugar beet හි ඉහල සීනි ප්‍රතිශතයක් පවතින බව සොයාගන්නා ලදී. එසේම 1801 දී Franz Karl Achard  විසින්  sugar beet යොදාගෙන සීනි නිපදවන ලොව ප්‍රථම සීනි කම්හල ඇරඹිණි. 1800 මුල භාගයේදී නැපෝලියන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ  ප්‍රංශය පුරා sugar beet මහා පරිමානව ව්‍යාප්ත විය.  

ආර්ථික වශයෙන් ලාභදායී සාර්ථක sugar beet වගාවක් සඳහා උෂ්ණත්වය, හිරුඑළියේ තීව්‍රතාව, වර්ෂාපතනය සහ සුළඟේ වේගය යන සාධක සෘජුව බලපායි. පැල වැඩෙන අවදියේදී  15.55 °C -  21.11°C අතර උෂ්ණත්වයක් පැවතීම හිතකරය. නමුත් තද සුළං පැවතීම නුසුදුසුය. බාස්මතී වගාකිරීමට උතුරුදිග ඉන්දියානු පෙදෙස් වඩාත් සුදුසු වන්නා සේ  sugar beet වගාවට සුදුසුම ප්‍රදේශය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියානු ප්‍රදේශයන්ය. තරමක උණුසුම සමග හොඳින් හිරුපායන දිගු දිවාකාල සහ මීදුම් සහිත සීතල කෙටි රාත්‍රී කාලයන් වඩාත් සුදුසුය. මෙම තත්ත්ව යටතේදී  ඉහල සුක්‍රෝස් ප්‍රතිශතයක් අන්තර්ගත වේ.  


බිම් සකස් කිරීමේදී ගැඹුරට පස් හෑම (deep ploughing)
එහෙත් ඉහල උෂ්ණත්වයක් සහ අධික තීව්රතාවකින් යුතු හිරු එලිය නුසුදුසුය. එබැවින් සමකාසන්න පෙදෙස්වල වාණිජ භෝගයක් ලෙස sugar beet වගා නොකරයි. sugar beet සිටුවීමට බිම් සකස් කිරීමේදී ගැඹුරට පස් හෑම (deep ploughing) කලයුතුය. එසේම තද පාංශු කොටස් ආදිය ඉවත් කලයුතුය. මෙම පියවරයන් අනුගමනයෙන් ආයාසයකින් තොරව මුල්වලට පස තුලට ගමන් කල හැක. (deep ploughing) නොකළහොත් වර්ධනය වන අවදියේදී  තද පාංශු ස්ථරවල වැදී අල උඩට එම සිදුවේ.මීට අමතරව හොදින් ජලය බැසයාමත් පාංශු වාතනයකුත් තිබීම සුදුසුය.

sugar beet යනු පාංශු පෝෂක වැඩිවශයෙන් උරාගන්නා භෝගයකි. මෙනිසා එකම බිම්පෙදෙසක අඛණ්ඩව වගා නොකරයි. බොහෝවිට එකම බිමක sugar beet වවන්නේ අවුරුදු 3 කට වතාවකි. අතරමැදි අවුරුදු දෙක තුල ධාන්‍ය සහ රනිල භෝග සිටුවයි. sugar beet සිටුවීම වසන්ත සෘතුවේදී සිදුකරන අතර අස්වනු නෙලීම සිසිර සෘතුවේදී සිදුකරයි. බොහෝවිට වගා බිමේ සිට සීනි නිෂ්පාදනාගාරය දක්වා සාපේක්ෂව වැඩි දුරක් ගමන් කිරීමට sugar beet අලවලට සිදුවේ. අඛණ්ඩව වගා නොකිරීමත් උක් වගාවන්ට සාපේක්ෂව ඒකක භූමිප්‍රමානයකට අඩු ඵලදායීතාවක් ලැබීමත් යන කාරනා මත වගාබිම්වලට සමීපව නිෂ්පාදනාගාර ඉදිනොකරයි.

sugar beet යනු පොලව යට  වැවෙන භෝගයක් නිසා පස් සහ වැලි ආදී අපද්‍රව්‍ය වලින්ද ඉහලය. එබැවින් සැකසීමට පෙර මෙම අපද්‍රව්‍ය ඉවත්කිරීමට හොඳින් සේදීම සිදුකරයි. සේදු අල කුඩා තීරු වලට යාන්ත්‍රිකව කපන අතර මෙමගින් පෘෂ්ට පරිමා අනුපාතය වැඩිවී පහසුවෙන් සීනි වෙන්කර ගත හැක. මෙම කුඩා අල තීරු cossettes ලෙස හඳුන්වයි. මේ සඳහා උණුවතුර සහිත විශාල ටැංකි වල මෙම තීරු ගිල්වා පැයක පමණ කාලයක් තබයි. මෙහිදී විසරණ ක්‍රියාවලියෙන් සුක්‍රෝස් ජලයට එකතුවේ. ඉන්පසු ඉතිරිවන තීරු  තෙරපීමකට ලක්කර තවදුරටත් සුක්‍රෝස් කොටස වෙන්කර ගැනීම සිදුවේ. 

මෙහිදී ඉතිරිවන හපය සත්වාහාර සෑදීමට යොදාගනී. සීනි කැට නිෂ්පාදනයට පෙර මෙසේ ජලයට වෙන්කරගත් සුක්‍රෝස් යුෂය පිරිසිදු කලයුතුය. පිරිසිදුකල පසු අමතර ජලය වාෂ්පීකරණයෙන් සීනි කැට ලබාගනී. උක් මගින් සීනි නිෂ්පාදනයේදී වාෂ්පීකරණ ක්‍රියාවලිය සඳහා ඉන්ධන ලෙස උක්ගසෙන්ම ලැබෙන අතුරුපල යොදාගත හැකිය. නමුත් sugar beet හිදී මෙසේ ස්වභාවික ඉන්ධන ලැබෙන්නේ නැත. එබැවින් මෙම වාෂ්පීකරණ ක්‍රියාවලිය සඳහා සාපේක්ෂව වැඩි පිරිවැයක් දරනුලබයි.

Friday, June 29, 2012

මහාපරිමාණ කෘෂි යන්ත්‍ර 01 : Extreme Farm Machines 01

                මේ ලිපිය කෘෂි ඉංජිනේරු විද්‍යාවට ටිකක් සමීපයි. මෙතෙක් ලොව වැඩිම කාර්යක්ෂමතාවයකින් බිම් සැකසුම් සිදුකර ගිනස් වාර්තා අතරට එක්වුනු මහාපරිමාණ යන්ත්‍රයක් (ලොකු ට්‍රැක්ටරයක්) ගැනයි මේ සටහන.

AGCO Challenger MT875B
(Benoit Verdin) විසින් රොමේනියාවේ (TIMISOARA) ප්‍රදේශයේදී මෙම වාර්තාව පිහිටුවා ඇත. මෙම වාර්තාව පිහිටුවීමට අශ්වබල 570 (සාමාන්‍ය ට්‍රැක්ටර අශ්වබල 48 - 60 පරාසයේ පවතී) ජවයකින් යුතු (AGCO Challenger MT875B) වර්ගයේ යන්ත්‍රයක් සහ මීටර් 14 ක පළලින් යුත් (14m-wide Gregoire Besson XXL discs) වර්ගයේ  විශාල තැටි නගුලක් ඔහු භාවිතාකර තිබෙනවා. මෙම වාර්තාව පිහිටුවීමට අඛණ්ඩව පැය 24 ක් ඔහුට ගතවෙලා තියෙනවා. 

14m-wide Gregoire Besson XXL discs
මෙම පැය 24 තුල හෙක්ටයාර 640 ක (ඒ කියන්නේ වතිකානුව වගේ ආසන්නව 14 ගුණයක භූමියක) බිම් සැකසීම් සිදුකර ඇත. එනම් විනාඩි දෙකකදී පාපන්දු පිටියක ප්‍රමාණයක්.........
මෙම බිම් සැකසීම මැටි බහුල ලෝම පසේ සෙන්ටිමීටර 10 ක් ගැඹුරට සිදුකර ඇත. මෙය ලෝක වාර්තාවක් වුවද හෙක්ටයාරයක් සැකසීමට වැයවී ඇත්තේ ඉන්ධන ලීටර 4.42 බව සඳහන්ය. මෙය සාපේක්ෂව හොඳ ඉන්ධන ඉතිරියක් බව සඳහන්ය. මහා පරිමාන කෘෂි බිම් අඩුකාලයකින් සහ අඩු නිෂ්පාදන පිරිවැයකින් අස්වැද්දීමට මෙමගින් හැකිවී ඇත. එම වාර්තාව පිහිටවු  වීඩියෝව 

Sunday, June 17, 2012

අසිරිමත් කෘෂි තාක්ෂනය යනු......'


                   Blogging හෙවත් බ්ලොග්කරනය මට තරමක අලුත් දෙයක්. ඒත් කෘෂිකර්මය මට එතරම්ම ආගන්තුක දෙයක් නෙවෙයි. බීජයක් ප්‍රරෝහණය  වී ක්‍රමානුකූලව  එය ගසක් බවට පත්වීම පුංචි කාලෙදි මා දු‍ටු පුදුමාකාර සිද්ධියක්. ඒ කාලෙදි බෝංචි, මුං ඇට, වී ඇට වගේ විවිධාකාර ඇට වර්ග හිටවලා  ඒවායෙන් පැල මතුවෙන විධිය අත්හදා බැලුවා. ඉස්කෝලේ 8, 9 වසර වලදී කාලයත් සමග විවිධ වගා සම්බන්ධයෙන් මගේ දැනුම වැඩි වුනා. ඒ වෙනකොට මං භෝග වර්ග වැඩි ප්‍රමාණයක්  වවලා අස්වනුත් නෙලලා තිබුනා. කරවිල, මෑ කරල්, බන්ඩක්කා, වැටකොලු, වැරනියා මිරිස්, මයියොක්කා, ඒවැනි භෝග අතුරින් කීපයක්.


                    O/L  , A/L පන්තිවලදී තරමක් වගා කටයුතු වලින් මම ඈත්වුනා. උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරුනාට පස්සේ සැඟවී තිබුනු සහජ උනන්දුව යලිත් මතු වුනා. කැම්පස් එකේදී ප්‍රධාන මාතෘකා අටක් යටතේ පුලුල් පරාසයක දැනුමක් ලබා ගන්න හැකි වුනා. එතෙක් කුඩා පරාසයකට සීමාවී තිබූ මගේ දැනුම මෙනිසා වඩාත් පුලුල් වුනා.


                    නවීන පරිඝනක සහ තත්පරෙන් තත්පරේ අලුත් වන අන්තර්ජාලය මම හදුනාගත්තේ පීඨයේ පරිඝනක ඒකකය හෙවත් CC එකෙන්. මුලු ලෝකෙම දැනුම කෙටි කාලෙකින් ලබාගත හැකි අන්තර්ජාලයෙන් මා බොහෝ දේවල් දැන ඉගෙන ගත්තා. එහෙම අන්තර්ජාලයේ සැරිසරන අතරතුර එක්දිනකදී අහම්බෙන් දු‍ටු එක්තරා බ්ලොග් පි‍ටුවක ප්‍රතිඵලයක් ලෙසින් බ්ලොග්කරනයට මමත් පිවිසුනා. 


ඔන්න ඔහොමයි මේ බ්ලොග් එක සම්භවය වුනේ. 
                
                කෘෂිකර්මාන්තය සම්බන්ධ විවිධ තොරතුරු, අසිරිමත් ඉසව්, අතැම්විට ඔබ මෙතෙක් නුදු‍ටු පැති, ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහිදී  ලිපි ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙම බ්ලොග් අඩවියේ සිදුවිය යුතු වෙනස්කම් ඇතොත් ඒවාද, මෙහි අන්තර්ගත ලිපිවල දෝෂ ඇතොත් ඒවාද, මෙහි මවිසින් අන්තර්ගත කල යුතු මාතෘකාද, ඊට අමතරව ඔබලාගේ අදහස් උදහස්, යෝජනා චෝදනා තිබේනම් එවාද දන්වන මෙන් මා ඉල්ලාසිටිමි.



ස්තුතියි..