Showing posts with label කෘෂිකර්මාන්තය. Show all posts
Showing posts with label කෘෂිකර්මාන්තය. Show all posts

Friday, June 29, 2012

මහාපරිමාණ කෘෂි යන්ත්‍ර 01 : Extreme Farm Machines 01

                මේ ලිපිය කෘෂි ඉංජිනේරු විද්‍යාවට ටිකක් සමීපයි. මෙතෙක් ලොව වැඩිම කාර්යක්ෂමතාවයකින් බිම් සැකසුම් සිදුකර ගිනස් වාර්තා අතරට එක්වුනු මහාපරිමාණ යන්ත්‍රයක් (ලොකු ට්‍රැක්ටරයක්) ගැනයි මේ සටහන.

AGCO Challenger MT875B
(Benoit Verdin) විසින් රොමේනියාවේ (TIMISOARA) ප්‍රදේශයේදී මෙම වාර්තාව පිහිටුවා ඇත. මෙම වාර්තාව පිහිටුවීමට අශ්වබල 570 (සාමාන්‍ය ට්‍රැක්ටර අශ්වබල 48 - 60 පරාසයේ පවතී) ජවයකින් යුතු (AGCO Challenger MT875B) වර්ගයේ යන්ත්‍රයක් සහ මීටර් 14 ක පළලින් යුත් (14m-wide Gregoire Besson XXL discs) වර්ගයේ  විශාල තැටි නගුලක් ඔහු භාවිතාකර තිබෙනවා. මෙම වාර්තාව පිහිටුවීමට අඛණ්ඩව පැය 24 ක් ඔහුට ගතවෙලා තියෙනවා. 

14m-wide Gregoire Besson XXL discs
මෙම පැය 24 තුල හෙක්ටයාර 640 ක (ඒ කියන්නේ වතිකානුව වගේ ආසන්නව 14 ගුණයක භූමියක) බිම් සැකසීම් සිදුකර ඇත. එනම් විනාඩි දෙකකදී පාපන්දු පිටියක ප්‍රමාණයක්.........
මෙම බිම් සැකසීම මැටි බහුල ලෝම පසේ සෙන්ටිමීටර 10 ක් ගැඹුරට සිදුකර ඇත. මෙය ලෝක වාර්තාවක් වුවද හෙක්ටයාරයක් සැකසීමට වැයවී ඇත්තේ ඉන්ධන ලීටර 4.42 බව සඳහන්ය. මෙය සාපේක්ෂව හොඳ ඉන්ධන ඉතිරියක් බව සඳහන්ය. මහා පරිමාන කෘෂි බිම් අඩුකාලයකින් සහ අඩු නිෂ්පාදන පිරිවැයකින් අස්වැද්දීමට මෙමගින් හැකිවී ඇත. එම වාර්තාව පිහිටවු  වීඩියෝව 

Saturday, June 23, 2012

භෝගවල නිජබිම් : Center of Origin

                         අපේ රටේ වගා කරන විවිධ භෝග වර්ග ලෝකෙ කුමන පෙදෙස් වලින් පැමිණි ඒවාද? අපි ආහාරයට ගන්න වී, තිරිඟු, කුරහන් වල නිජභූමි මොනවද? අපේ රටේ ප්‍රධාන වැවිලි වන තේ, පොල්, රබර් වැනි භෝග සම්භවය වුනේ මොන මොන රටවලද? මෙම ප්‍රශ්නවලට විසඳුම් "භෝගයන්හි සම්භව කේන්ද්‍ර "  හෙවත් (Centre of Origin) යටතේ පැහැදිලි කල හැක. ආචාර්ය නිකොලයි ඉවනොවිච් වැවිලෝව් විසින් මෙම හඳුන්වාදෙන ලදී. මෙහිදී  ප්‍රධාන සම්භව කේන්ද්‍ර 8 ක් යටතේ භෝග වර්ගීකරණය කරයි.
 

ඒ අනුව අපේ රටේ වවන පොල් ඉන්දියානු කේන්ද්‍රයේද, ළූණු චීන කේන්ද්‍රයේද, මයියොක්කා, රටකජු, රබර්, අන්නාසි බ්‍රසීල පැරගුවේ උපකේන්ද්‍රයේද සම්භවය වී ඇත.    පහත වගුවෙන් තවදුරටත් අවබෝධකර ගත හැක.
අප බහුලව පරිභෝජනයකරන භෝග වර්ග සහ ඒවායේ නිජබිම් 


සම්භව කේන්ද්‍ර
භෝග වර්ග
1
දකුණු මෙක්සිකානු සහ මධ්‍යම ඇමරිකානු කේන්ද්‍රය
බඩඉරිඟු, බෝංචි වර්ග, කපු, බතල, ගම්මිරිස්, පැපොල්, පේර, කජු, කොකෝවා
2

දකුණු ඇමරිකානු කේන්ද්‍රය

මෙය නැවත උප  ප්‍රධාන ප්‍රදේශ 3 කට බෙදා ඇත.
පේරු, ඉක්වදෝර, බොලිවියානු උප කේන්ද්‍රය: අර්තාපල් වර්ග, පිෂ්ට අධික තිරිඟු, තක්කාලි, වට්ටක්කා, ගම්මිරිස්, දුම්කොළ, කොකෝවා, පේර.

චිලෝ උප කේන්ද්‍රය: චිලියානු ස්ට්‍රෝබෙරි  

බ්‍රසීල, පැරගුවේ උප කේන්ද්‍රය: මයියොක්කා, රටකජු, රබර්, අන්නාසි, කජු.

3
මධ්‍යධරනී  කේන්ද්‍රය
තිරිඟු වර්ග (durum, polish), ඕට්ස්, ක්ලෝවර් තෘණ වර්ග (Egyptian, white, crimson), අබ, ඔලිව්, බීට්රූට්, සලාද කොළ, පෙපර්මින්ට් ශාඛ.
4
මැදපෙරදිග කේන්ද්‍රය
රයි, තිරිඟු වර්ග (einkorn, durum, poulard, common, oriental, persian), පරිප්පු, දෙළුම්, ඇපල්, පෙයාස්, චෙරි.
5
ඉතියෝපියානු කේන්ද්‍රය
බාර්ලි, තිරිඟු වර්ග (Abyssinian hard, poulard, polish), සෝගම්, කුරක්කන්, කවුපි, තල, එඬරු, කෝපි. බණ්ඩක්කා,

6
මධ්‍යම ආසියානු කේන්ද්‍රය
තිරිඟු වර්ග (common, club, shot, ), පරිප්පු, මුං, අබ, තල, කපු, ළූණු, සුදු ළූණු, නිවිති, කැරට්, පෙයාස්, ආමන්ඩ්, ඇපල්, මිදි
7

ඉන්දියානු  කේන්ද්‍රය, උප ප්‍රධාන කේන්ද්‍ර දෙකකට බෙදේ.

ඉන්දු බුරුම උප කේන්ද්‍රය: වී, මුං, කවුපි, වම්බටු, කැකිරි, රාබු, අඹ, දොඩම්, උක්, පොල්, තල, කොට්ටපුලුන්, ජූට්, සඳුන්, කුරුඳු, උන.
සියම් මලයානු ජාවා උප කේන්ද්‍රය: කොමඩු, කෙසෙල්, දෙල්, මැන්ගුස්, පොල්, උක්, කරාබු, සාදික්කා

8
චීන කේන්ද්‍රය
මිලට් වර්ග (broomcorn, Italian, Japanese barnyard), සෝයා බෝංචි, රාබු, චීන ගෝවා, ළූණු, කැකිරි, පීච්, චෙරි, චීන ඇපල්, උක්, පොපි,



Tuesday, June 19, 2012

කෘෂිකර්මාන්තය ගැන කෙටි විග්‍රහයක් : A Brief description about Agriculture


කෘෂිකර්මාන්තය නැත්තම් (Agriculture) කියන වචනයේ සරල තේරුම පසේ වගා කිරීම යන්නයි. අපි බොහෝ දෙනෙක් දන්නා විදියට කෘෂිකර්මය කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකමක්. එත් ඔබ දන්නවාද වේයන්, කූඹින්, වැනි සතුන්ද කෘෂිකර්මයේ යෙදෙනා බව 
කෘෂිකර්මාන්තයේ ඉතිහාසය අදින් අවුරුදු දහස් ගණනක් දක්වා දිවෙයි. මීට අවරුදු 12,000 කට පෙර නියෝලිතික යුගයේ විසූ මානවයන් සිදුකල "වල් තණකොළ විශේෂයක අස්වනු නෙලීම" පළමු කෘෂිකාර්මික කටයුත්ත ලෙසින් සැලකේ. එදා සිට අද දක්වා විවිධ සංස්කෘති, නොයෙකුත් දේශගුණික කලාප, තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ ක්‍රමානුකූලව කෘෂිකර්මාන්තය දියුණු වෙමින් පවතී. 
 කෘෂිකර්මාන්තයෙන් ලබා ගන්නා ඵල මූලිකව කාණ්ඩ හතරක් යටතේ ආහාර, තන්තු/කෙඳි, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ජෛව ඉන්ධන ලෙස වර්ග කල හැක. 2007 සිදුකල ඇස්තමේන්තුවකදී ලොව ජනගහනයෙන් 1/3 ක් කෘෂි ක්ෂේත්‍රයේ නියැලී සිටිය බවට වාර්තා වේ.

ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය මූලික සාධකයක් ලෙස ආහාර සැලකේ. එබැවින් යම් රටක ස්ථාවරත්වය කෙරෙහි එම රටේ ආහාර සුරක්ෂිතතාව ඍජුව බලපායි. මෙනිසා ලොව සෑම රටක්ම පාහේ  තම රටේ ආහාර සුරක්ෂිතතාව කෙරේ විශේෂ අවධානයක් යොමුකරයි. මේ සඳහා ලොව බොහෝ රජයන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරේ විවිධ සහනාධාර සපයනු ලබයි. වී, තිරිඟු, බඩඉරිඟු, සෝයාබෝංචි, කිරි වැනි නිෂ්පාදන මින් ප්‍රමුඛ වේ. 
වත්මන් ලෝක ජනගහනය බිලියන 7 ක් එනම් මිලියන 7000 ඉක්මවමින් සිටී. නමුත් මානව විද්‍යාඥයන්ට සහ ඉතිහාසඥයන්ට අනුව කෘෂිකර්මාන්තය සොයා නොගත්තේනම්  කිසිදු දිනක මානව ගහනය මිලියන 15 නොඉක්මවන බව සඳහන්ය.
දිනෙන් දින දියුණු වන නවීන විද්‍යා හා තාක්ෂණික දියුණුව සමග නූතන කෘෂිකර්මාන්තයද දියුණුවෙමින් පවතී. නවීන ශාක අභිජනන ක්‍රමවේද, පලිබෝධනාශක සහ සංශ්ලේෂිත පොහොර භාවිතය මෙම දියුණුවට  වැඩිවශයෙන් දායක වී තිබේ. 

වර්තමානයේ මහාපරිමාණව  කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලෙස චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය , රුසියාව ඉදිරියෙන් සිටී. අක්කර දහස් ගණනක් පුරා විහිදෙන විශාල වගාබිම්වල වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිව වගාකටයුතු සිදුකිරීමට නවීන යන්ත්‍රසූත්‍ර භාවිතය, ඉහලමට්ටමින් පොහොර සහ පලිබෝධනාශක භාවිතය වැනි ක්‍රමවේද අනුගමනය කරයි. මූලිකව මෙම යන්ත්‍රසූත්‍ර පනගැන්වීමට අවශ්‍ය බලශක්තියත් පොහොර සහ පලිබෝධනාශක සංස්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍යත් ලබාගන්නේ පොසිල ඉන්ධන මගිනි. මෙනිසා වත්මන් කෘෂිකර්මාන්තයද ඍජුව පොසිල ඉන්ධන මත රඳා පවතී. 
එබැවින් විකල්ප බලශක්ති ප්‍රභව කෙරේ අවදානය යොමුකිරීම සහ ක්‍රමානුකූලව ඒවාට නැඹුරුවීම අනාගත කෘෂිකර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් දායකවනු ඇත. 


Sunday, June 17, 2012

අසිරිමත් කෘෂි තාක්ෂනය යනු......'


                   Blogging හෙවත් බ්ලොග්කරනය මට තරමක අලුත් දෙයක්. ඒත් කෘෂිකර්මය මට එතරම්ම ආගන්තුක දෙයක් නෙවෙයි. බීජයක් ප්‍රරෝහණය  වී ක්‍රමානුකූලව  එය ගසක් බවට පත්වීම පුංචි කාලෙදි මා දු‍ටු පුදුමාකාර සිද්ධියක්. ඒ කාලෙදි බෝංචි, මුං ඇට, වී ඇට වගේ විවිධාකාර ඇට වර්ග හිටවලා  ඒවායෙන් පැල මතුවෙන විධිය අත්හදා බැලුවා. ඉස්කෝලේ 8, 9 වසර වලදී කාලයත් සමග විවිධ වගා සම්බන්ධයෙන් මගේ දැනුම වැඩි වුනා. ඒ වෙනකොට මං භෝග වර්ග වැඩි ප්‍රමාණයක්  වවලා අස්වනුත් නෙලලා තිබුනා. කරවිල, මෑ කරල්, බන්ඩක්කා, වැටකොලු, වැරනියා මිරිස්, මයියොක්කා, ඒවැනි භෝග අතුරින් කීපයක්.


                    O/L  , A/L පන්තිවලදී තරමක් වගා කටයුතු වලින් මම ඈත්වුනා. උසස් පෙල ප්‍රතිපල වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරුනාට පස්සේ සැඟවී තිබුනු සහජ උනන්දුව යලිත් මතු වුනා. කැම්පස් එකේදී ප්‍රධාන මාතෘකා අටක් යටතේ පුලුල් පරාසයක දැනුමක් ලබා ගන්න හැකි වුනා. එතෙක් කුඩා පරාසයකට සීමාවී තිබූ මගේ දැනුම මෙනිසා වඩාත් පුලුල් වුනා.


                    නවීන පරිඝනක සහ තත්පරෙන් තත්පරේ අලුත් වන අන්තර්ජාලය මම හදුනාගත්තේ පීඨයේ පරිඝනක ඒකකය හෙවත් CC එකෙන්. මුලු ලෝකෙම දැනුම කෙටි කාලෙකින් ලබාගත හැකි අන්තර්ජාලයෙන් මා බොහෝ දේවල් දැන ඉගෙන ගත්තා. එහෙම අන්තර්ජාලයේ සැරිසරන අතරතුර එක්දිනකදී අහම්බෙන් දු‍ටු එක්තරා බ්ලොග් පි‍ටුවක ප්‍රතිඵලයක් ලෙසින් බ්ලොග්කරනයට මමත් පිවිසුනා. 


ඔන්න ඔහොමයි මේ බ්ලොග් එක සම්භවය වුනේ. 
                
                කෘෂිකර්මාන්තය සම්බන්ධ විවිධ තොරතුරු, අසිරිමත් ඉසව්, අතැම්විට ඔබ මෙතෙක් නුදු‍ටු පැති, ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහිදී  ලිපි ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙම බ්ලොග් අඩවියේ සිදුවිය යුතු වෙනස්කම් ඇතොත් ඒවාද, මෙහි අන්තර්ගත ලිපිවල දෝෂ ඇතොත් ඒවාද, මෙහි මවිසින් අන්තර්ගත කල යුතු මාතෘකාද, ඊට අමතරව ඔබලාගේ අදහස් උදහස්, යෝජනා චෝදනා තිබේනම් එවාද දන්වන මෙන් මා ඉල්ලාසිටිමි.



ස්තුතියි..