Tuesday, July 16, 2013

ජාන වෙනස් කල අත්ලාන්තික් සැමන් මත්ස්‍යයා : GM Salmon

රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් වුවද සාමාන්‍ය සැමන් මසුන්ගේ වර්ධන වේගය සාපේක්ෂව ඉතා අවමය. මෙනිසා ඉහල ඉල්ලුමක් තිබුනද වානිජමය වශයෙන් සැපයීම අපහසුය. මීට පිලියමක් ලෙස සාමාන්‍ය සැමන් මසුන්ට සාපේක්ෂව දෙගුනයක වේගයෙන් වර්ධනය වන ජාන වෙනස්කල මත්ස්‍ය ප්‍රබේධයක් නිපදවා ඇත. Aquabounty නමැති සමාගම මෙම මත්ස්‍යයාගේ හිමිකාරත්වය දරයි.




නිෂ්පාදිත සමාගමේ අදහස වන්නේ රසයව්‍යුහය, වර්ණය සහ ආවේනික සුවඳ යනාදී ලක්ෂණ සැසඳීමේදී සාමාන්‍ය සැමන් මසුන්ගේ සහ මෙම ජාන වෙනස්කල මසුන්ගේ කිසිදු වෙනසක් නැති බවය. මෙම ජාන වෙනස් කල අත්ලාන්තික් සැමන් මත්ස්‍යයා විසින් වසර පුරාවටම වර්ධක හෝමෝනය ස්‍රාවය කිරීම මෙසේ වේගවත්ව වර්ධනය වීමට හේතුවේ.


*රූප සටහන : එකම වයසේ (මාස 18) පසුවන


සාමාන්‍ය සැමන් මාලුවෙක් - බර රාත්තල් 2.8 දිග 13"

ජාන වෙනස් කල සැමන් මාලුවෙක් - බර රාත්තල් 6.6 , දිග 24"

Saturday, July 13, 2013

කෘමි පළිබෝධකයන් මර්ධනය සඳහා නිසරු කෘමීන් භාවිතා කිරීමේ තාක්ෂනය : Sterile Insect Technique (SIT)



කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාමත්ම හානිකරවූ කෘමි විශේෂ මර්ධනය කිරීමට එම කෘමි විශේෂයේම වන්ධ්‍යාකරණය කල කෘමීන් යොදාගනු ලබනවා. Sterile Insect Technique (SIT) ලෙස හඳුන්වන මෙම ක්‍රමය අයත් වන්නේ ජෛව විද්‍යාත්මක කෘමි පාලන ක්‍රමවේදයට ය. 

පෙර සඳහන් කල ලෙස මෙහිදී යම් කෘමි විශේෂයක් මර්ධනය සඳහා එම කෘමි විශේෂයේම වන්ධ්‍යාකරනයට ලක්කල කෘමීන් (නිසරු කෘමීන්) යොදාගනී. බොහෝවිට මේ සඳහා ‍පිරිමි කෘමීන් තෝරාගනු ලබයි. නිසරු කෘමීන් නිෂ්පාදනයට මහාපරිමාණව කුරුමිණි ගොවිපොලවල් ඇතිකර පසුව එම කෘමීන් වන්ධ්‍යාකරනයට පත්කරයි. මේ සඳහා බොහෝවිට විකිරණ ප්‍රතිකාරක යොදාගනී.

පසුව මෙම නිසරු කෘමීන් හානියට පත්වූ ප්‍රදේශවලට ගුවනින් තොග පිටින් මුදාහරී. මෙසේ විසිර යන නිසරු කෘමීන් ගැහැනු කෘමීන් ආකර්ෂණය සඳහා ස්වාභාවිකව හමුවන සරු කෘමීන් සමග තරඟ කරයි.

නිසරු කෘමි ප්‍රතිශතය සාපේක්ෂව වැඩි නිසා සරු කෘමීන් සහකාරියන් ‍වෙන්කර ගන්නා තරගයේදී පසුබහී. නිසරු කෘමීන් සමඟ ගැහැනු කෘමීන් එක්වීමෙන් නව කෘමි පරම්පරාවක් බිහිනොවේ. මෙසේ වරින් වර නිසරු කෘමීන් මුදාහැරීමෙන් ක්‍රමානුකූලව කෘමි ගහනය ඉතා අවම මට්ටමකට පත්වේ. ඇතැම්විට සහමුලින්ම තුරන්වීයාමද සිදුවේ...

1950 දී පමණ මෙම ක්‍රමය සොයාගන්නා ලද්දේ ඇමරිකානු ජාතික කීට විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය Raymond C. Bushland සහ ආචාර්ය Edward F. Knipling විසින්ය.

මෑත කාලයේදී මෙම ක්‍රමවේදය සාර්ථකවූ අවස්ථාවන් ලෙස,
- Screwworm fly (Cochliomyia hominivorax)
- Mexican fruit fly (Anastrepha ludens, Loew)
- Tsetse fly
- Medfly (Ceratitis capitata, Wiedemann)
- Melon fly (Bactrocera cucurbitae, Coquillett)
ආදීකෘමි විශේෂ ඉතා සාර්ථකව පාලනය කිරීම දැක්විය හැක.

වර්තමානයේදී බරවා, මැලේරියා ආදී රෝග වාහක මදුරුවන් පාලනය කිරීමට මෙම තාක්ෂණය යොදාගනිමින් පවතී.

Friday, February 15, 2013

අඟුටුමිටි හරක් : Miniature Cattle

අඟුටුමිට්ටන් ගැන ගෙතී ඇති සුරංගනා කතා මීට පෙර ඔයගොල්ලෝ අහල ඇති. ඒ වගේම අඟුටුමිටි චරිත ඇතුලත් විවිධ කාටූන් සහ චිත්‍රපටද ඕනෑ තරම් බලලත් ඇති. ගලිවර්ගේ චාරිකා, හිමකුමරිය සහ අඟුටුමිට්ටන් හත්දෙනා, Lord of the Rings ඔය වගේ මා දන්නා අඟුටුමිටි චරිත හමුවූ තැන් කිහිපයක්. ඇත්තටම ඔය කියන විදියේ අඟුටුමිට්ටන් ලෝකේ ඉන්නවද..?? මා දන්නා විදියට නම් තවම හොයාගෙන නැහැ. 

ඒත් මා දන්නා තරමින් අඟුටුමිටි හරකුන් වර්ග කීපයක් නම් ලෝකේ ඉන්නවා. කාලෙකට පසුව ලියන මේ සටහන එම  අඟුටුමිටි හරකුන් පිළිබඳවයි..

අඟුටුමිටි හරක්, කුරු හරක් හෙවත් Miniature cattle යනු දේහ ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා ගව කොට්ඨාශයක්. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මොවුන් දැකිය හැක. සෞම්‍ය කලාපික හරකෙකුගේ (temperate breed cattle)  සාමාන්‍ය උස අඟල් 68'' වන නමුත් පූර්ණ අඟුටුමිටි හරකෙකුගේ (Full miniature cattle) උස වන්නේ අඟල් 42" ක් පමණි.

වැඩිවන මිනිස් ගහනය සඳහා අවැසි නිවාස සහ අනෙකුත් කර්මාන්තශාලා ඉදි කිරීම හේතුවෙන් වගා බිම්වල වපසරිය දිනෙන් දින අඩුවේ. එසේම දිනෙන් දින වැඩිවන පවුල් ඒකක ගණනද කුඩා වගා බිම් ඇතිවීමට සෘජුව බලපායි. මේ නිසා ගව පාලනය සඳහා පෙර පරිදි විශාල තෘණභූමි, ඇති තරම් පිරිසිදු වතුර, ලබා ගැනීම අසීරුවන අතර හරකුන් වැනි දේහ ප්‍රමාණයෙන් විශාල සතුන් ඇතිකිරීම ප්‍රායෝගිකව අපහසු කාරණාවක් වී ඇත. 

සාමාන්‍යයෙන් විශාල හරකුන් දෙදෙනෙකු ඇතිකිරීම සඳහා අක්කර 5ක් අවැසි වුවද මෙම කුරු හරක් දෙදෙනෙකු සඳහා අවැසි වනුයේ අක්කර එකකි. මෙනිසා කුඩා වගාබිමක වුවද සාර්ථකව ගව පාලන කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. මේ වනවිට කුරු හරක් ප්‍රභේද 26 ක් පවතින අතර ඉන් වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඩෙක්ස්ටර් නමැති ප්‍රබේදයයි. 


අලුතින් හඳුන්වාදෙන ලද ඇතැම් ප්‍රබේද තවමත් වාණිජ වශයෙන් ගොවිපලවලට මුදාහැර නැත. ඉදිරියේදී ගව පාලන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවන ගොවීන්, විනෝදාංශයක් ලෙස කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නන්, සති අන්ත නිවාඩු වලදී ගව පාලන කටයුතු කරන්නන් සහ නගරවාසී ගොවීන් අතර මෙම කුරු හරක් ප්‍රබේද සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.  

කුරු හරක් සඳහා හඳුනාගත් විශේෂිත වෙළඳපල හයකි. සුරතල් සතුන් ලෙස, අභිජනන කාර්යයන් සඳහා, කිරි නිෂ්පාදනයටඅධ්‍යාපනික ප්‍රදර්ශන සඳහා, මස් පිණිස, කාබනික ක්‍රමයට අනුකූල හරක් මස් නිෂ්පාදනයට (Organic Beefඑකී වෙළඳපලවේ. International Miniature Cattle Breeders Society and Registry® ආයතනයට අනුබද්ධව පවතින කුරු හරක් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ඉහත සඳහන් කල විවිධාකාරයේ වෙළඳපල තත්වයන්ට ගැලපෙන පරිදි නව කුරු හරක් ප්‍රබේද අභිජනනයෙන් නිපදවනු ලබයි. 

1)  මස් පිණිස ඇතිකරන ප්‍රබේද ලෙස :  KingshireTM,  Happy Mountain®, Grad-WohlTM, BurienshireTM සහ AuburnshireTM  

2)  සුරතලුන් ලෙස හා අභිජනන කාර්යයන් සිදුකිරීම සඳහා : Kentshire®,  
CovingtonshireTM,  Mini Cookie,  MiniPandaTM සහ Irish Jersey 

3)  කිරි නිෂ්පාදනය සඳහා : Kentshire® සහ  Irish Jersey  ආදී ප්‍රබේද නිර්දේශ කරයි.

එසේම විවිධ රටවල පවතින දේශගුණික තත්ත්වයන්ට සහ ප්‍රාදේශීය තෘණ විශේෂ සඳහා ගැලපෙන පරිදි කුරු හරක් ප්‍රබේද අභිජනනයෙන් නිපදවීමද මෙමගින් සිදුකරයි.  

කුරු හරක් නිපදවීමේදී අභිජනන කරුවන් අතර පැහැදිලිව සටහන් තැබූ පෙළපත් වාර්තා (Pedigree records) පවත්වා ගනී. මෙයින් යම් කුරු හරකෙකුගේ මව පියා සහ මුතුන් මිත්තන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගත හැක්කා සේම නව කුරු ප්‍රබේද ඇතිකිරීමේදී ලැබෙන පැටවා පිළිබඳව සාර්ථකව පුරෝකථනය කිරීමටද  හැකිවේ.


මස් පිණිස කුරු හරක් ඇතිකිරීමේදී සාධනීය ලක්ෂණ ගණනාවක් දැක ගත හැක. අනෙකුත් විශාල හරකුන්ට සාපේක්ෂව සපයන ලද ආහාර මාංශ බවට පරිවර්තනය කිරීමේදී වැඩි කාර්යක්ෂමතාවයක් කුරු හරක් ප්‍රබේද පෙන්වයි. මෙය ප්‍රතිශතයක් ලෙස 25% ත් 30 ත් අතර අගයකි. මෙනිසා Organic Beef නිපදවීමේදී කුරු හරක් වඩාත් සුදුසු වේ. කාබනික සත්වාහාර ඉහල මිලකින් යුක්ත මීට හේතුවයි.


තවත් කාරණයක් වන්නේ විශාල හරක් ප්‍රබේද වලින් ලැබෙන මාංශ ප්‍රමාණය 55% - 58% වනවිට  කුරු හරකුන් 62% - 65% අතර ප්‍රමාණයක් ලබා දීමයි. එසේම සැමවිටම කුඩා හරක් ප්‍රභේදවල මාංශ සාපේක්ෂව මෘදු බැවින් වැඩි වෙළඳපල ඉල්ලුමක්ද පවතී. මෙම ලක්ෂණ හේතුවෙන් ක්‍රමයෙන් ලොව පුරා කුරු හරක් වෙළඳපල වර්ධනය වෙමින් පවතී.  International Miniature Cattle Breeders Society and Registry® හෙවත් අන්තර්ජාතික කුරු හරක් අභිජනන කරුවන්ගේ සංගමයට අනුව වාර්ෂිකව මෙය 22% ක අගයකි.

Saturday, November 24, 2012

කුහුඹු වගාකරුවෝ : Farming Ants

අප බොහෝ දෙනෙකු දන්නා ආකාරයට කෘෂිකර්මය කියන්නේ මනුෂ්‍ය ප්‍රජාවට පමණක් සීමාවූ ක්‍රියාවකි. නමුත් මිනිසුන් හැර කුඹින්, වේයන් වැනි ඇතැම් සත්ත්ව විශේෂද කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන බව ඔබ දන්නවාද. 
Atta texana යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුහුඹු විශේෂය මෙසේ කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන එක් සත්ව විශේෂයකි. මෙම කුහුඹු විශේෂය, ශාක පත්‍ර නිශ්චිත ප්‍රමාණයකට කපා කුහුඹු ඝනාවාසය (කුඹි ගුල) තුලට රැගෙනයන අතර එහිදී නැවතත් ඉතා කුඩා කොටස්වලට බිඳ හෙලනු ලබයි. 

මෙසේ ඉතා කොටස්වලට බිඳ දැමූ පත්‍ර කොටස් එම විශේෂයේම විශේෂණය වූ කුහුඹු වර්ගයක් මගින් සපමින්, වමාරමින් පල්පයක් තනනු ලබයි. පසුව ඔවුන් විසින් මෙම පල්පය මත, එක්තරා දිලීර විශේෂයක් වගාකරනු ලබයි.

මෙසේ වගා කරගත් දිලීර විශේෂය මත මෙම කුහුඹු විශේෂය සම්පූර්ණයෙන්ම පාහේ යැපේ. කුහුඹු ඝනාවාස ඉදිකිරීම සඳහා අදාළ දිලීරය වගාකිරීමට සුදුසු ශාක වර්ග පවතින පෙදෙස් බොහෝවිට තෝරා ගනී. වසර පුරා දිලීර අස්වැන්නක් ලබාගැනීම සඳහා අඛණ්ඩව පත්‍ර සැපයීමක් කල යුතුය. මේ සඳහා දිනපතා විශාල ශාක පත්‍ර ප්‍රමාණයක් අවැසි වන අතර ඒ සඳහා සමහරවිට මිනිසුන් වගාකරන ලද භෝගයන්හි පත්‍රද යොදාගනී. එබැවින් මෙම කුහුඹු විශේෂය එක්සත් ජනපදයේ වගාබිම් සඳහා පලිබෝධකයෙකු ලෙසද හඳුන්වනු ලබයි.

BD 500 හෙවත් අං පොහොර (Horn Manure)

                හිරු, සඳු සහ තරුවල පවතින ශක්තියත්, වගාකරු සතුව පවතින අධ්‍යාත්මික ශක්තියත් විශ්වයේ පවතින සෙසු හිතකර ශක්තීන්ගේත් බලය භෝග වගාකිරීම සඳහා උපයෝගීකර ගැනීම ජෛවගතික කෘෂිකර්මාන්තයේදී සිදුකරයි.


          ජෛවගතික කෘෂිකර්මාන්තය යනු කාබනික කෘෂිකර්මාන්තයෙන්ම පැවතෙන එක් ශාඛාවකි. අනාදිමත් කලක සිට විවිධ කෙම්ක්‍රම, කර්ණ වර්ග සහ විවිධ මැතිරිලි භාවිතයෙන් භෝග වගාවේ රෝග සහ කෘමි උවදුරු පාලනය ශ්‍රී ලාංකිකයන් අතරද පැවතේ. නීරෝගී සාරවත් පස, ජෛවගතික කෘෂිකර්මාන්තයේ ප්‍රධානතම සාධකයයි. නීරෝගී පසක් පැවතීමෙන් භෝගවලට වැළඳෙන ලෙඩ රෝග බොහොමයක් අවමකර ගත හැකි බව දැක්වේ.

ඉහත සඳහන් ලෙස සාරවත් නීරෝගී පසක් නිර්මාණය කිරීමට විශ්ව ශක්තිය පසට ලබාදීම සිදුකල යුතු අතර මේ සඳහා විශ්ව ශක්ති සංකේන්ද්‍රක පසට එක්කාසු කල යුතුය. මෙසේ විශ්ව ශක්ති සංකේන්ද්‍රක ලෙස BD500 (Horn manure), BD501 (Horn silica), BD502 (Yarrow blossoms), BD503 (Chamomile blossoms), BD504 (Stinging nettle).. දැක්විය හැක. මින් පළමු සංකේන්ද්‍රකය වන BD500 පිළිබඳව පහත විස්තර කෙරේ.

BD500 හෙවත් අං පොහොර නිපදවීමට ස්වාභාවික ආහාර මත යැපෙන කිරි දෙනුන්ගේ ගොම යොදාගනී. මෙම ගොම එළදෙනෙකුගේ අඟක් තුල තැන්පත් කරනු ලබයි. ගොම පිරවූ අං පොලොව යට 40cm - 60cm අතර ගැඹුරු වලක් හාරා මතුපිට පස් වලින් වසනු ලැබේ. මාස හතරකින් පසු ගොඩ ගනු ලබයි. මෙසේ ගොඩගත් අං තුල පවතින පැසීම්කරණයට ලක්වූ පොහොර ජලය වැඩි ප්‍රමානයක දියකර ශාක මතට ඉසිනු ලබයි. (අක්කරයක් සඳහා BD500 ග්‍රෑම් 25ක් වතුර ලීටර් 13ක දිය කරයි)

ජෛවගතික කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට අනුව මෙම BD500 ඉසීමෙන් පසේ ව්‍යුහය දියුණුවී සාරවත් වේ. පස යට අං වළලන අඟේ තුඩ පෙදෙස ඉහලට යොමුවන සේ ස්ථානගත කල යුතුය. මෙමගින් වර්ෂා කාලවලදී අඟ තුල ජලය රැස්වීම වැලකේ. වසරක් සඳහා මෙසේ හතර වතාවක් පමණ භෝග වගාවට ඉසිනු ලබයි..