Saturday, September 8, 2012

ස්වාල්බාඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය : SGSV

             "The Agronomist" කියල කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාකාර තොරතුරු, පින්තූර, ප්‍රවෘත්ති ඇතුලත් ෆේස්බුක් පිටුවක්  හැදුවා. එකේ නිර්මාණ කටයුතු කිරීම නිසා පහුගිය ටිකේ බ්ලොග් එකට ලිපියක් ලියන්න බැරිවුණා. ලිපියක් ලිවීමට මාතෘකාවක් හොයද්දී අහම්බෙන් හමුවුන දෙයක් ගැනයි මේ සටහන....
             2012 කියන්නේ තරමක් ආන්දෝලනාත්මක වර්ෂයක්. ඇතැම් මතවලට අනුව ලෝක විනාශය මෙම වසරේ සිදුවන බව සඳහන්. බොහෝ වියතුන් දක්වන ආකාරයට තෙවන ලෝක විනාශය න්‍යෂ්ටික බෝම්බ වලින් සිදුවන අතර ග්‍රහක ගැටුමක් හෝ උල්කාපාත ගැටුමකින්ද මීට නොදෙවැනි වූ ලෝක විනාශයක් සිදුවිය හැක. මෙවැනි ලෝක විනාශයක් සිදුවුවහොත් ඉන් සිදුවන විනාශය සුළුපටු නොවනු ඇත. ලොව ජීවත් වන ඉතාකුඩා ජීවියාගේ සිට අතිවිශාල ජීවීන් දක්වා සිටින සියලුම විශේෂවල ජීවීන් පාහේ මිහිමතින් සදහටම තුරන්වනු නියතය. ඒ සමගම ඔවුන් සතුවූ සුවිශේෂී ජාන සැකැස්මද අතුරුදන්වනු ඇත.
               කෙසේවුවද ඉහත සඳහන් ඕනෑම ආකාරයක විනාශයකදී වුනත් ආරක්ෂාකාරීව සිටීමට සමත් ගොඩනැගිලි සහ කැප්සියුල මේවනවිට ඇතැම් රටවල සාර්ථකව නිපදවා තිබෙනවා. අති විශාල ලෝක විනාශයකට පසුව නැවතත් ජනාවාස මුල සිට ආරම්භකළ යුතු අතර එම ජනයාට අවැසි ආහාර නිපදවිය යුතුය. එසේම එම අහාර නිපදවීමට අවශ්‍ය කරන භෝගයන්හි බීජ වර්ගද මෙසේ සුරක්ෂිතව ගබඩාකර තබාගතයුතුය.ඒ සඳහා මෙකී විනාශකාරී තත්වවලට සාර්ථකව මුහුණදිය හැකි බීජ සුරක්ෂිතාගාර  කිහිපයක් ලොව පිහි‍ටුවා ඇති අතර මෙම ලිපියෙන් ඉන් ප්‍රධානතම බීජ සුරක්ෂිතාගාරය වන "ස්වාල්බාඩ් බීජ සුරක්ෂිතාගාරය" (Svalbard Global Seed Vault) පිළිබඳව විස්තර කෙරේ.

නොර්වේ රාජ්‍යයට අයත් හිම වලසුන්ගෙන් ගහන ස්වාල්බාඩ් අර්ධද්වීපයේ මෙම " බීජ සුරක්ෂිතාගාරය" පිහිටා ඇත. 2006 ජුනි මස ඇ.ඩො. මිලියන 9 ක වියදමකින් ආරම්භකල මෙය 2008 වසරේ පෙබරවාරි 26 වන දින නිල වශයෙන් විවෘත කෙරින. සදාකාලිකව හිමෙන් වැසී පවතින පෙදෙසක හුණු සහ වැලි ගලින් යුත් කන්දක් තුල හාරන ලද භූගත උමගක් මේ සඳහා යොදාගැණින. 

මෙය ඉදිකිරීම සඳහා ස්වාල්බාඩ් ප්‍රදේශයම තෝරාගැනීමට විශේෂ හේතු කීපයකි.
1) මුහුදුමට්ටමින්130m උසින් පිහිටීම (මෙනිසා මුහුදු ජලමට්ටම් ඉහල යාමකින් සිදුවිය හැකි ආපදා වැළකේ), 
2) සදාකාලිකව හිමෙන් වැසී තිබීම (බීජ දිගුකලක් ගබඩා කිරීමට සුදුසු උෂ්ණත්වයේ පැවතීම) , 
3) මීටර් 120 ක් ඉහලින් වැලි තට්ටුවක් තිබීම ( විකිරණ වලින් සිදුවිය හැකි හානි අවම වීම), මෙවැනි සාධක කීපයකි. 

මෙම බීජ සුරක්ෂිතාගාරය දිගින් 145.9m කි. බීජ සාම්පල් තැන්පත් කිරීම සඳහා කුටි තුනකි. එක කුටියක දිග 27m, පළල 10m සහ උස 6m වේ. යම් වර්ගයකට අයත් බීජ 500 කින් යුතු සාම්පල් වශයෙන් මෙහි තැන්පත් කරනු ලබයි. එවැනි එකිනෙක වෙනස් බීජ සාම්පල් මිලියන 4.5 ක් සුරක්ෂිතව ගබඩා කිරීමේ ඉඩකඩ මෙහි පවතී. (එනම් බීජ  බිලියන 2.25 ක් පමණ) මේ අනුව ලොව විශාලතම බීජ සාම්පල් ගබඩාව මෙය වනු ඇත. 

1400 ක් පමණ වන ලොව සමස්ත ජාන බැංකු වලින් මේ සඳහා අවශ්‍යය බීජ ලබාගනී. චීනය, රුසියාව, ජපානය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි  බීජ බැංකු ඇත. FAO දත්ත අනුව ලොව පුරා ජාන බැංකු සහ බීජ බැංකු 1400 ක් පමණ තිබුනද ඉන් පිළිගත් ප්‍රමිතියේ පවතිනුයේ 30-40 අතර ගණනකි. ස්වාල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ විවිධ සහල් ප්‍රභේද 100,000 ක් පමණ ගබඩාකර පවතී. මෙම බීජ ගබඩාකිරීම සඳහා සෙල්සියස් සෘණ 18 ( -180C) උෂ්ණත්වය සහ Oසාන්ද්‍රනය අඩු වාතය යොදාගනී. මේ සඳහා වායු රෝධක ඇසුරුම් යොදාගනී. මෙමගින් බීජවල පරිවෘතිය ක්‍රියා සීඝ්‍රතාවය අඩුවී වැඩි කලක් සුප්තතාවයේ පවතී. මෙම තත්ත්ව වලදී මෑ, බෝංචි වැනි බීජ වල  ආයුකාලය බොහෝ විට වසර 20 - 30 කට පමණ සීමාවේ. නමුත් ඇතැම් සූරියකාන්ත බීජ වර්ග දශක ගණනාවක් හෝ ශතවර්ෂ කිහිපයක් වුවද සජීවීව පැවතිය හැක. කෙටි ආයුකාල පවතින බීජ පැලකර ඒවායින් බීජ ලබාගෙන නැවත අධිශීත තත්ව යටතේ ගබඩා කරයි.

මෙහි කළමනාකාරීත්වය සහ මෙහෙයුම් සිදුකරන්නේ Nordic Genetic Resource ආයතනය මගිනි .  විද්‍යාත්මක මගපෙන්වීම සහ බීජ සාම්පල නැව්ගතකිරීමට අවශ්‍ය සහය Centre  The Global Crop Diversity Trust ආයතනය මගින් ලබාදේ. බීජ සුරක්ෂිතාගාරයේ සමස්ත ආරක්ෂාව පවතිනුයේ ස්වාල්බාඩ් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා අතය.

2 comments:

නන්ඳු said...

මුලින්ම සමාව ඉල්ලනවා මේ කමෙන්ටුව ලියන්න ප්‍රමාද වුණ එක ගැන.. :)
මේ බීජ සංරක්ෂණය ගැන අහලා තිබුනත් මේ වටින තොරතුරුවලට ගොඩක් ස්තූතියි හේරත්..

Unknown said...

thank you so much for appreciate & admire my works :)