Friday, February 15, 2013

අඟුටුමිටි හරක් : Miniature Cattle

අඟුටුමිට්ටන් ගැන ගෙතී ඇති සුරංගනා කතා මීට පෙර ඔයගොල්ලෝ අහල ඇති. ඒ වගේම අඟුටුමිටි චරිත ඇතුලත් විවිධ කාටූන් සහ චිත්‍රපටද ඕනෑ තරම් බලලත් ඇති. ගලිවර්ගේ චාරිකා, හිමකුමරිය සහ අඟුටුමිට්ටන් හත්දෙනා, Lord of the Rings ඔය වගේ මා දන්නා අඟුටුමිටි චරිත හමුවූ තැන් කිහිපයක්. ඇත්තටම ඔය කියන විදියේ අඟුටුමිට්ටන් ලෝකේ ඉන්නවද..?? මා දන්නා විදියට නම් තවම හොයාගෙන නැහැ. 

ඒත් මා දන්නා තරමින් අඟුටුමිටි හරකුන් වර්ග කීපයක් නම් ලෝකේ ඉන්නවා. කාලෙකට පසුව ලියන මේ සටහන එම  අඟුටුමිටි හරකුන් පිළිබඳවයි..

අඟුටුමිටි හරක්, කුරු හරක් හෙවත් Miniature cattle යනු දේහ ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා ගව කොට්ඨාශයක්. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මොවුන් දැකිය හැක. සෞම්‍ය කලාපික හරකෙකුගේ (temperate breed cattle)  සාමාන්‍ය උස අඟල් 68'' වන නමුත් පූර්ණ අඟුටුමිටි හරකෙකුගේ (Full miniature cattle) උස වන්නේ අඟල් 42" ක් පමණි.

වැඩිවන මිනිස් ගහනය සඳහා අවැසි නිවාස සහ අනෙකුත් කර්මාන්තශාලා ඉදි කිරීම හේතුවෙන් වගා බිම්වල වපසරිය දිනෙන් දින අඩුවේ. එසේම දිනෙන් දින වැඩිවන පවුල් ඒකක ගණනද කුඩා වගා බිම් ඇතිවීමට සෘජුව බලපායි. මේ නිසා ගව පාලනය සඳහා පෙර පරිදි විශාල තෘණභූමි, ඇති තරම් පිරිසිදු වතුර, ලබා ගැනීම අසීරුවන අතර හරකුන් වැනි දේහ ප්‍රමාණයෙන් විශාල සතුන් ඇතිකිරීම ප්‍රායෝගිකව අපහසු කාරණාවක් වී ඇත. 

සාමාන්‍යයෙන් විශාල හරකුන් දෙදෙනෙකු ඇතිකිරීම සඳහා අක්කර 5ක් අවැසි වුවද මෙම කුරු හරක් දෙදෙනෙකු සඳහා අවැසි වනුයේ අක්කර එකකි. මෙනිසා කුඩා වගාබිමක වුවද සාර්ථකව ගව පාලන කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. මේ වනවිට කුරු හරක් ප්‍රභේද 26 ක් පවතින අතර ඉන් වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඩෙක්ස්ටර් නමැති ප්‍රබේදයයි. 


අලුතින් හඳුන්වාදෙන ලද ඇතැම් ප්‍රබේද තවමත් වාණිජ වශයෙන් ගොවිපලවලට මුදාහැර නැත. ඉදිරියේදී ගව පාලන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවන ගොවීන්, විනෝදාංශයක් ලෙස කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නන්, සති අන්ත නිවාඩු වලදී ගව පාලන කටයුතු කරන්නන් සහ නගරවාසී ගොවීන් අතර මෙම කුරු හරක් ප්‍රබේද සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.  

කුරු හරක් සඳහා හඳුනාගත් විශේෂිත වෙළඳපල හයකි. සුරතල් සතුන් ලෙස, අභිජනන කාර්යයන් සඳහා, කිරි නිෂ්පාදනයටඅධ්‍යාපනික ප්‍රදර්ශන සඳහා, මස් පිණිස, කාබනික ක්‍රමයට අනුකූල හරක් මස් නිෂ්පාදනයට (Organic Beefඑකී වෙළඳපලවේ. International Miniature Cattle Breeders Society and Registry® ආයතනයට අනුබද්ධව පවතින කුරු හරක් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ඉහත සඳහන් කල විවිධාකාරයේ වෙළඳපල තත්වයන්ට ගැලපෙන පරිදි නව කුරු හරක් ප්‍රබේද අභිජනනයෙන් නිපදවනු ලබයි. 

1)  මස් පිණිස ඇතිකරන ප්‍රබේද ලෙස :  KingshireTM,  Happy Mountain®, Grad-WohlTM, BurienshireTM සහ AuburnshireTM  

2)  සුරතලුන් ලෙස හා අභිජනන කාර්යයන් සිදුකිරීම සඳහා : Kentshire®,  
CovingtonshireTM,  Mini Cookie,  MiniPandaTM සහ Irish Jersey 

3)  කිරි නිෂ්පාදනය සඳහා : Kentshire® සහ  Irish Jersey  ආදී ප්‍රබේද නිර්දේශ කරයි.

එසේම විවිධ රටවල පවතින දේශගුණික තත්ත්වයන්ට සහ ප්‍රාදේශීය තෘණ විශේෂ සඳහා ගැලපෙන පරිදි කුරු හරක් ප්‍රබේද අභිජනනයෙන් නිපදවීමද මෙමගින් සිදුකරයි.  

කුරු හරක් නිපදවීමේදී අභිජනන කරුවන් අතර පැහැදිලිව සටහන් තැබූ පෙළපත් වාර්තා (Pedigree records) පවත්වා ගනී. මෙයින් යම් කුරු හරකෙකුගේ මව පියා සහ මුතුන් මිත්තන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගත හැක්කා සේම නව කුරු ප්‍රබේද ඇතිකිරීමේදී ලැබෙන පැටවා පිළිබඳව සාර්ථකව පුරෝකථනය කිරීමටද  හැකිවේ.


මස් පිණිස කුරු හරක් ඇතිකිරීමේදී සාධනීය ලක්ෂණ ගණනාවක් දැක ගත හැක. අනෙකුත් විශාල හරකුන්ට සාපේක්ෂව සපයන ලද ආහාර මාංශ බවට පරිවර්තනය කිරීමේදී වැඩි කාර්යක්ෂමතාවයක් කුරු හරක් ප්‍රබේද පෙන්වයි. මෙය ප්‍රතිශතයක් ලෙස 25% ත් 30 ත් අතර අගයකි. මෙනිසා Organic Beef නිපදවීමේදී කුරු හරක් වඩාත් සුදුසු වේ. කාබනික සත්වාහාර ඉහල මිලකින් යුක්ත මීට හේතුවයි.


තවත් කාරණයක් වන්නේ විශාල හරක් ප්‍රබේද වලින් ලැබෙන මාංශ ප්‍රමාණය 55% - 58% වනවිට  කුරු හරකුන් 62% - 65% අතර ප්‍රමාණයක් ලබා දීමයි. එසේම සැමවිටම කුඩා හරක් ප්‍රභේදවල මාංශ සාපේක්ෂව මෘදු බැවින් වැඩි වෙළඳපල ඉල්ලුමක්ද පවතී. මෙම ලක්ෂණ හේතුවෙන් ක්‍රමයෙන් ලොව පුරා කුරු හරක් වෙළඳපල වර්ධනය වෙමින් පවතී.  International Miniature Cattle Breeders Society and Registry® හෙවත් අන්තර්ජාතික කුරු හරක් අභිජනන කරුවන්ගේ සංගමයට අනුව වාර්ෂිකව මෙය 22% ක අගයකි.

7 comments:

samakayawate said...

අතිශය වැදගත් අඩවියකි.. අදයි මෙය දුටුවේ.. එන්නම් දිගටම. සුබ පැතුම්.
මම සමකය වටේ ලියන නලීන්

Unknown said...

නලීන් මහතාණෙනි, ඔබගේ දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි.....!!!

නන්ඳු said...

වටින ලිපියක්.. දේශගුණයට සරිලන කුරු හරක් ප්‍රබේධයන් ලංකාවේ දැනට ඇතිකෙරෙනවද...

Gimhani said...

හොඳ දැනුවත් කිරීමක් .
…දිගටම ලියන්න . ජය පතනවා !

Unknown said...

@ නන්ඳු, මම දන්නා තරමින් නම් අපේ රටේ තවම කුරු ගවයින් පාලනය වාණිජව සිදුකරන්නේ නෑ. ඒත් නුදුරු අනාගතයේදීම කුරු ගවයින් පාලනය සිදුකරනු ඇතිබව මාගේ විශ්වාසයයි.

Unknown said...

@ Gimhani, අසිරිමත් කෘෂි තාක්ෂණය : Amazing Agric. Technology බ්ලොග් අඩවිය සඳහා ඔබව සාදරයෙන් පිලිගනිමි. ඔබගේ දිරිගැන්වීමටත් බොහොම ස්තුතියි.....!!!

Anonymous said...

ඉතාම වැදගත් ලිපි පෙලක්. දිගටම ලියන්න

මධුසංක