පරිප්පු, හරියටම කියනවනම් රතු පරිප්පු, ශ්‍රිලංකාවේ වැඩියෙන්ම පරිභෝජනය කරන ආහාරවලින් එකක්. එදා සිට අද දක්වා ලංකාවේ අහාරවේල් කෝටිගනනක් රසවත් කල පරිප්පු ගැන ඇත්තම කියනවනම් ලංකාවේ මිනිස්සු දන්නේ ටිකයි. මේවනවිට ලෝකෙ දෙවන විශාලම පරිප්පු ආනයනය කරන රට ලංකාව වුනත් ශ්‍රී ලංකාවේ පරිප්පු වගා නොකිරීම මීට හේතුවයි. එම බහුතරය නොදන්නා පරිප්පුවල කතාවයි මේ.
split lentils |
Lens culinaris යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පරිප්පු අන්තර්ජාතික ආහාර අංකන ක්‍රමවේදය යටතේ 5-002-506 ලෙස හඳුන්වයි. එක වාර්ෂික රනිල භෝගයක් වන පරිප්පු මීට වසර 13,000 - 9,500 පෙර සිට වගා කල බවට පුරාවිදු සාධක හමුවේ. දකුණු ආසියානු, මධ්‍යධරනී සහ අපරදිග ආසියානු රටවල බත් සමග ගන්න ව්‍යංජනයක් ලෙස පරිප්පු භාවිතාකරයි. උත්තර, දක්ෂිණ ඇමරිකානු සහ යුරෝපාකරයේ රටවල පරිප්පු ප්‍රචලිතව ඇත්තේ කුකුල්මස් හෝ ඌරුමස් සමග මිශ්‍රකර සාදන සුප් වර්ගයක් නිසාය.
ප්‍රරෝහණය නොවූ වියලි පරිප්පු වල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල 2 ක් වන ලයිසින් සහ අයිසෝලියුසීන් බහුලය. නමුත් මෙතයොනින් සහ සිස්ටින් වැනි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල හිඟය. නමුත් ප්‍රරෝහණය වන අවස්ථාවේ පවතින පරිප්පු බීජවල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලක්ම පාහේ අන්තර්ගතය. ලොව ප්‍රදේශ ගණනාවක පරිප්පු වගාකල හැක. නමුත් සිසිල් දේශගුනවලට වඩාත් හොඳින් හැඩගැසී ඇත. සෞම්‍ය කලාපීය රටවල සහ ශීත ඍතුවේදී මධ්‍යධරනී රටවල බහුලව වගාකරන්නේ එබැවිනි. මේ වනවිට ප්‍රධාන පරිප්පු නිෂ්පාදකයන් ලෙස කැනඩාව, ඉන්දියාව, තුර්කිය, යන රටවල් දැක්විය හැක. ප්‍රධාන ආනයනකරුවන් ලෙස ඊජිප්තුව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් හැඳින්විය හැක.
එකවාර්ෂික භෝගයක් වන පරිප්පු ශාඛය උසින් සෙන්ටිමීටර 20 ත් 65 ත් අතර පවතී. මෙය පඳුරක් ලෙස වර්ධනය වේ. කුඩා මල් ලානිල් සිට රෝස දක්වා විවිධ පාට පවතී, මෙය ප්‍රභේදය අනුව තීරණය වේ. සෙන්ටිමීටර 1.3 ක් පමණ වන පරිප්පු කරලක බීජ දෙකක් පවතී. බීජාවරණය ලාකොළ හෝ අළුපාට වේ. පත්‍ර පත්‍රිකා ලෙස බෙදී ඇත. මූල පද්ධතිය අඩි 2 ක් පමණ ගැඹුරු වන අතර වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවෙන් යුක්තවේ. පරිප්පු ප්‍රෝටීන බහුල ආහාරයක්. සාපේක්ෂව ලාභාදායී නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේත්, නිර්මාංශික මිනිසුන්ගේත් දෛනික ප්‍රෝටීන අවශ්‍යතා සැපිරීමට මෙය වඩාත් උචිත වේ.
No comments:
Post a Comment